Grade ( in English) : Grade 7F
Admission Number : 25479
K.A.Yesandu dulneth kulawardhana
කඨින චීවර පූජාව
අටමහා කුසල් අතර පළමු වැන්න වන්නේ කඨින චීවර පූජාව වේ. මෙම පිංකම සිදුකළ හැක්කේ වසරකට එක්වරක් පමණි. අනෙකුත් පිංකම් වසරේ ඕනෑම වේලාවක ඕනෑම ස්ථානයක සිදුකළහැකිවේ. නමුත් කඨින චීවර පූජාවක් එසේ සිදුකළ නොහැකිය. ඒ සඳහා කරුණු රාශියක් සම්පූර්ණ වීය යුතුවේ. විශේෂයෙන් උපසම්පදා භික්ෂූන් වහන්සේලා ලොව වැඩසිටින තාක්කල් පමණක් කළහැකි පිංකමකි.
දායක පින්වතුන්ගේ ආරාධනාව ඇතිව උපසම්පදා භික්ෂූන් වහන්සේලා ඇසළ පොහෝ දින සිට වස් විසීමට සුදුසු ස්ථානයක වස් සමාදන් විය යුතු වේ. අනතුරුව වප් පුර පසළොස්වක පොහෝ දින වස් පවාරණය කළයුතුවේ. මේ වස් තුන් මාසය මුළුල්ලේම ඒ සමාදන් වූ වස් ශික්ෂා පදය කඩනොකොට එය ආරක්ෂා කරගත යුතුවේ.
මෙම කාලයක තුළ කඨින චීවර පූජාව සිදුකළයුතු වේ. එය චීවර මාසය නමින් හැඳින්වේ. මේ කාලය බෞද්ධයාගේ පුණ්‍ය කාලය වශයෙන් සඳහන් කිරීම නිවැරදි වේ.
භික්ෂූන් වහන්සේලා මේ කාලය තුළ වෙනදාට වඩා ආගමික නැඹුරුතාවකින් යුතුව බණ භාවනා කරමින් කාලය ගත කිරීමට ගුණ දහම් දියුණු කිරීමට උත්සාහවත් වීම කළ යුතු වේ. දායක පින්වතුන්ටද මේ කාලය තුළ භික්ෂූන් ආරාමයේ වැඩ සිටීම නිසා බණ ඇසීම, දන්දීම ආදී ගුණ දහම් පුරා ¸සිව් පසයෙන් උපස්ථාන කර පින් සිදු කරගත හැකිය.
දායක පක්ෂය විසින් චීවර වස්තයක් සොයාගනු ලැබේ. සියලු දෙනා ගෙන්ම එකතු කර ගන්නා මුදලින් එය සපයා ගැනීම විශේෂයකි. ඉන් අදහස් කරන්නේ සියලු දෙනාගේ සහභාගිත්වයයි. මෙහිදී තුන් සිවුරෙන් එක් සිවුරකට පුමාණය වන අලුත් වස්තයක් සිවුරු කිරීමට වුවමනා ඉදිකටු, නූල් ,පඬු ආදි උපකරණත් සමග සිවුරු කරන භික්ෂූන්ට ආහාර පානාදියත් සමග ගෙන ගොස් උදෑසන ම පූජා කළ යුතු ය. උදෑසන ම පූජා කළ යුත්තේ ඒ වස්තයෙන් එදින ම සිවුරක් සකස් කර ගත යුතු බැවිනි. කපා මසා පඬු පොවා අවසන් කළ සිවුරක් ද කඨින චීවරය වශයෙන් පිදිය හැකිය. වැඩ නිම වූ සිවුරක් කඨිනයට පූජා කරන්නේ නම් කවර වේලාවක වුව ද පූජා කළාට වරදක් නැත.
පරිවාර පරිෂ්කාරයන්ගෙන් යුක්ත කිරීමෙන් කඨින දානය කැමති පමණට මහා දානයක් කර ගත හැකි ය. කලාතුරකින් කරන්නට ලැබෙන මේ පින්කම හැකි තාක් මහත් කොට කිරීම බෞද්ධයන්ගේ සිරිතය. කඨින චීවරයට පරිවාර පරිෂ්කාර වශයෙන් තවත් සිවුරු ද, ආහාර පාන හා බෙහෙත් වර්ග ද, ඇඳ, පුටු, මේස ආදි දැව භාණ්ඩ ද, ඇඳ ඇතිරිලි, කොට්ට, මෙට්ට ද, පිඟන් ,කෝප්ප ,සැලි ආදි මැටි බඳුන් ද, කුඩා සැළි, කළ, කල්දේරම් ආදි තඹ, පිත්තල බඩු ද, කැති ,පොරෝ ,මන්නා, පිහියා, උදලු ආදි යකඩ බඩු ද, ඉදල් කොසු ,වට්ටි ,පෙට්ටි, පෙරහන්කඩ ආදිය ද විහාරස්ථානවලට හා භික්ෂූන් වහන්සේලාට පුයෝජනවත් තවත් නොයෙක් දේ ද එක්කොට පිදිය හැකිය.
විහාරස්ථානයක කඨින පූජා උත්සවයක් පවත්වනු ලබන්නේ වසරකට එක් වතාවක් පමණි. ඒ සඳහා බෞද්ධයෝ මාස ගණනාවකට පෙර සිටම සූදානම් වෙති. කඨින පූජාව සිදු කරන්නේ විහාරස්ථානයක වස් විසූ උපසම්පදාව ලත් භික්ෂූන් වහන්සේ නමක් වෙත ය. වර්තමානයේ කඨින චීවරය වැඩමවනු ලබන්නේ අලංකාරවත් පෙරහැරකිනී.
වස් අවසාන දින පූජා කරන ලද කඨින සිවුර පෙරවාගත් භික්‍ෂූන් වහන්සේ කඨිනානිසංස මාතෘකා කරගෙන ර්ධම දේශනයක් පවත්වති. එම ර්ධමය ශුවණය කිරීමෙන් කඨින පින්කම් වල ආනිසංස සියලු දෙනාට ම ලබා ගැනීමට හැකිය.
මේ වසරේ අප විහාරස්ථානයේ කඨින චීවර පූජා උත්සවයට මටද හැකි අයුරින් දායක වීමට ලැබීම මගේ ජීවිතයේ මහගු පින්කමකි.
මේ වස් පින්කම් කෙරෙන කාලයේ ඔබත් ඒ පින්කම් වලට සම්බන්ධ වන්න …!
